දැක්ම

ජනතාවගේ සහ මාතෘ භූමියේ ප්‍රගතිය සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ පවරනු ලැබූ ඉඩම් සහ භෞතික සම්පත් පරිහරණය කිරීමේ වගකීම දරන ප්‍රමුඛතම ආයතනය බවට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පත් කිරීම

මෙහෙවර

ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය ක්‍රියාවට නැංවීම, උපරිම සීමාවට අතිරික්ත ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම, භෞතික සම්පත් හිමිකාරිත්වය කළමනාකරණය කිරීම සහ ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීම, කාලීන අවශ්‍යතාවය පිළිබඳ උපරිම සීමාව බලාත්මක කිරීම, වන්දි ගෙවීම, ඵලදායී ආර්ථික ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීම සහ ජනතාවගේ ප්‍රතිලාභය සඳහා යොදාගත හැකි ඉඩම් සංචිතයක් පවත්වා ගැනීම මගින් ජාතික සංවර්ධනයට සක්‍රීයව දායකවීම සහතික කිරීම.

1972 අංක 01 දරන පනතින් ස්ථාපිත කරනු ලැබූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉතිහාසය 1972 වසර දක්වා දිවෙයි. වසර 45කට වැඩි කාලයක් පුරා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කාර්ය භාරය ඉටුකරනු ලැබූයේ කලින් කලට සංශෝධනය කරනු ලැබූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනතේ විධිවිධාන සහ කලින් කලට රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්ති තීරණ අනුවය. කොමිෂන් සභාවේ ප්‍රමුඛතා වනුයේ ඉඩම් හිමියන්ගේ ව්‍යවස්ථාපිත බැඳීම් නිදහස් කිරීම සහ ඔවුනට වන්දි ගෙවීම, ඵලදායී ආයෝජනයන් සඳහා පවරා ඇති ඉඩම් පරිහරණය සහ කොමිෂන් සභාවේ ආදායම එකතු කිරීම, ඉඩම් ආරක්ෂා කිරීම සහ කාර්ය මණ්ඩලයේ පුහුණුව සහ සුබසාධනයයි.

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත දින සියයේ වැඩසටහනට අනුව සාමාන්‍ය ජනතාව අතර ඉඩම් කොටස් දහසක් බෙදා දීමේ වැඩසටහන සාර්ථක කිරීම පිණිස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සියලු පියවර ගෙන තිබේ.

මෙම කාර්යයන් පිළිබඳව කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ සහ නිලධාරීන්ගෙන් යෝජනා සහ අදහස් කැඳවීමේ අරමුණින් එම එක් එක් කාර්යය සඳහා සහ වැඩමුළු පැවැත්වීම සඳහා ආයතනයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටු පත්කරන ලදී. තවද, ආයතනයේ කාර්ය මණ්ඩලය පුහුණු කිරීම පිණිස පුහුණු වැඩසටහන් පවත්වා තිබේ.

ඊට අමතරව, ගරු අමාත්‍යතුමාගේ මෙහෙයවීම හා මගපෙන්වීම යටතේ, විශේෂඥයන්ගෙන් සමන්විත උපදේශන කමිටුවේ නිර්දේශ මත ඵලදායී ලෙස හඳුනාගත් ආයෝජන සඳහා ඉඩම් සැපයීමට පියවර ගන්නා ලදී.

අරමුණු

  • ඉඩම් සම්බන්ධයෙන් තොරතුරු සම්පාදනය
    • ප්‍රකාශයට පත්කර ඇති එහෙත් මෙතෙක් හඳුනාගෙන නොමැති ඉඩම් හඳුනා ගැනීම
    • මහ ජනතාව සපයනු ලබන තොරතුරු මත පදනම්ව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් හඳුනා ගැනීම
    • අනෙකුත් පාර්ශවයන් වෙත ලබා දෙනු ලැබූ ඉඩම් ඒවා ලබා දුන් කාර්යය සඳහා යොදා ගනු නොලබන්නේ නම් එවැනි ඉඩම් පවරා ගැනීම
  • ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත පවරා ඇති ඉඩම්වලට අදාළව පහත කාර්යයන් ඉටුකිරීම
    • ව්‍යවස්ථාපිත නිර්ණය සහ නෛතික බැඳීම් නිදහස් කිරීම
    • උපරිම සීමාවට අතිරික්ත ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පවරා ගැනීම
    • ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පවරාගනු ලැබූ ඉඩම් සඳහා වන්දි ගෙවීම
  • රජය විසින් සාදනු ලැබූ ප්‍රතිපත්ති සහ පනතේ නිශ්චිතව දක්වා ඇති විධිවිධාන ප්‍රකාරව රටේ ආර්ථික සහ සමාජීය සංවර්ධනය සපුරා ගැනීමේ අරමුණින්, ඵලදායී ආයෝජනයන් සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත පවරනු ලැබූ ඉඩම් යොදා ගැනීම
  • කොමිෂන් සභාවට අයත් ඉඩම්වලට අදාළව එකතු කර ගැනීමට නියමිත ආදායම් එකතු කිරීම සහ රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයට දායකත්වය සැපයීම

කර්තව්‍ය

  • ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ විධිවිධාන ප්‍රකාරව පුද්ගලික හිමිකාරිත්වය යටතේ තබා ගනු ලැබිය හැකි ඉඩම්වල උපරිම ප්‍රමාණය නියමානුකූල කිරීම
  • උපරිම සීමාවට අතිරික්තව ඇති ඉඩම් හඳුනා ගැනීම සහ පවරා ගැනීම
  • පනතේ විධිවිධාන ප්‍රකාරව නෛතික බැඳීම්වලින් නිදහස් කිරීම
  • ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පවරා ගනු ලැබූ ඉඩම්වලට අදාළව ප්‍රකාශකරුවන්ට වන්දි ගෙවීම
  • පවරා ගනු ලැබූ ‍එහෙත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ පිළිබැඳුමෙන් නිදහස් කරනු ලැබූ ඉඩම්වල අයිතිය ආපසු පැවරීමට පියවර ගැනීම
  • ඉඩම් ලේඛන යාවත්කාලී කිරීම සහ ‍ක්ෂේත්‍රයේ සම්බන්ධීකරණයෙන් යුතුව ඉඩම් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම
    • ප්‍රකාශ කර ඇති එහෙත් මෙතෙක් හඳුනාගෙන නොමැති ඉඩම්
    • උපරිම සීමාවට අතිරික්ත හෙළිදරව් කර නොමැති ඉඩම්
    • අන්සතු කර ඇති එහෙත් ඵලදායී ආයෝජන සඳහා යොදවා නොමැති ඉඩම්
  • රටේ ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කරගැනීම පිණිස දායකවීම
    • ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ ව්‍යාපෘති සඳහා ඉඩම් සැපයීම
    • කෘෂිකාර්මික ව්‍යාපෘති සහ අනෙකුත් වගා කටයුතු සඳහා ඉඩම් සැපයීම
    • කර්මාන්ත සඳහා ඉඩම් සැපයීම
  • රටේ සමාජීය සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම පිණිස දායකත්වය ලබාදීම
    • ඉඩම් නොමැති ජනතාව අතර නිවාස ඉදි කිරීම සඳහා අතර ඉඩම් බෙදා හැරීම.
    • රජ‍යේ ප්‍රතිපත්ති තීරණ ප්‍රකාරව දියත් කරනු ලැබූ විශේෂ ව්‍යාපෘති සඳහා ඉඩම් ලබාදීම
    • ආගමික ස්ථාන සඳහා ඉඩම් ලබාදීම
    • පොදු කාර්යයන් සඳහා ඉඩම් ලබාදීම
    • රජයේ ආයතන සඳහා ඉඩම් ලබාදීම
  • ආදායම් එක්රැස් කිරීමේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
    • ස්වභාවික සම්පත් මත ආදායම් එකතු කිරීම
    • කල්බදු පදනමින් ඉඩම් ලබාදීම සහ බදුකුලිය එකුතු කිරීම
    • රජයෙන්, රාජ්‍ය නොවන සංවිධානවලින් සහ අනෙකුත් පුද්ගලයන්ගෙන් ලැබීමට නියමිත මුදල් අයකර ගැනීම
  • ආයතනයේ සංවිධාන ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම
    • කාර්යක්ෂම සහ මැනවින් පුහුණු කරනු ලැබූ කාර්ය මණ්ඩලයක් නිර්මාණය කිරීම
    • රාජකාරි නි‍සි ලෙස පැවැරීම
    • බලය විමධ්‍යගත කිරීම තුළින් රාජකාරි පැවරීම
    • සාකච්ඡා, වැඩමුළු සහ පුහුණු වැඩසටහන් සඳහා කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය මෙහෙයවීම
  • කාර්යක්ෂමතාව සහ ඵලදායීතාවය සාක්ෂාත් කරගැනීම පිණිස භෞතික සම්පත් සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් සැපයීම

කාර්යභාරය

පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පවරනු ලැබ ඇති කාර්යභාරයට අමතරව, රජය විසින් කලින් කලට ගනු ලැබූ ප්‍රතිපත්ති තීරණයන්ට ප්‍රතිචාර ලෙස වඩා පුළුල් ක්ෂේත්‍ර කරා කොමිෂන් සභාවේ කාර්යභාරය ව්‍යාප්ත කිරීමට සිදුව තිබේ.

logonew2

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව

+94 113 520 165
+94 112 878 052